About

ජන ගීයේ රුව ආත්මය කොටගත් ගීත රචකයා

alt

අවිස්සාවේල්ලේ සීතාවක මහා විද්‍යාලයේ ඉගැන්වූ සංගීතාචාර්ය වරයකු වූ දිසානායක ආරච්චිලාගේ ගාමිණී ප්‍රේමතිලක සහ සිංහලභාෂා අචර්යවරියකවූ හේනක රාළලාගේ කරුණා සාදිමැණිකේ දෙපලට දාව අගනුවරදී උපත ලද සිසිර ප්‍රියන්ත දිසානායක, සමීප නෑ හිත මිතුරන් විසින් අමතනු ලැබුයේ "කුමාර" නම්වූ අන්වර්ථයෙනි. ඔහුගේ මුල් පාසැල වුයේ දෙමව්පියන් ඉගැන්වූ පාසැල මය.

සිය මව ගෙනවිත් දුන් ඉතිරිවූ හුණු කැටවලින් සිමෙන්ති ගෙබිම පුර බලි රූ අඳිමින් සිසිර කුඩා කාලයේදී ම චිත්‍ර කලාවට අත්පොත් තැබීය. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයේ සයවැනි ශ්‍රේණියට ඇතුලත්වීම සිසිරගේ අධ්‍යාපනයට මෙන්ම කලා කටයුතුවලටද මහත් රුකුලක් වීය.ආනන්දයේ ත්‍යාග ප්‍රධානොත්සවයන් ගණනාවකදී ම තිලිණ ලබමින් ඇගයුනු ඇඳීමේ හැකියාවන් රමුගතව විද්‍යාලයීය අලින්දයන් සැරසවීය."අනඳ නුවණ" ශිෂ්‍ය සංගමයේ සංස්කාරකවරයා ලෙසින් දැන්වීම් පුවරු හැඩ ගැන්වූ එකී කුසලතාවයට කවි හා නිසඳැස් ලිවීම ද එක්වීය. විද්‍යාලයේ ශිෂ්‍ය භට හේවිසි තුර්යවාදන කණ්ඩායමේ බටනලා වාදකයකු වශයෙන් තවත් කලාත්මක අංශයකට යොමු වූයේ බටනලා වාදනය මතු නොව, වයලීන් වාදනය ද ක්‍රමානුකූලව හදාරමින් ඊට යා කරමිනි.

අනන්දයීය ආදී ශිෂ්‍ය සංගමයේ 75-80 කණ්ඩායමේ සංස්කාරකවරයා ලෙසින් වසර ගණනාවක් පුරා මාසිකව බෙදා හැරුණා වූ ප්‍රවෘත්ති ලිපිය සම්පාදනය කරමින් චිත්‍ර කලාව සමගින් ලේඛන කලාවට ද මුල පුරන්නට සිසිර සමත් විය. 2003 වර්ෂය දක්වා ම විද්‍යාලයීය හේවිසි තුර්ය වදන කණ්ඩායමේ බටනලා වාදකයන් පුහුණු කිරීමේ කටයුතුවලද ඔහු නියලුනේය.

වයස අවුරුදු නවයේදී පමණ පටන් තමන් මහත් සේ ඇළුම් කළ වික්ටර් රත්නායක සංගීතවේදියාණන්ගේ ස්වරයෙන් සංගීතාවත්ව, ඒ මියුරු හඬින් සිසිරගේ පදරචනාවක් මුලින් ම ගායනා වීම දෛවෝපගත සිදුවීමක් ම විය. විශිෂ්ඨ ශ්‍රේණියේ සරළ ගී වැඩසටහනක් සඳහා වර්ෂ 1996 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මඟින් විකාශය කළ "හත් දා නව දා" ගීයයි ඒ. කිසිදු දැන හැදුනුම්කමකින් තොරවම එම පද රචනාව වික්ටර් රත්නායකයන්ගේ "ගී සියයක්" කෘතියට ද එක්වීය.සිංහල ගීතයේ මහ ගෙදර ලෙසින් සැළකෙන ගුවන් විදුලියෙන් බිහි වූ රචකයකු වන්නට එලෙස වරම් ලද සිසිරගේ ගී ගැන් වුණූ දෙවැනි පදරචනාව ද "ගී සිත්තම්" වැඩසටහන සදහා එම වසරේම, එම සේවයෙන්ම විකාශනය වූ තවත් රත්නයකයන්ගේම ගායනාවක් විය. වන්නි බස් වහර ඇසුරින් ලියවුණු මුල් ගීයකට ඉදුරාම වෙනස්ව සාහිත්‍ය පොත පතෙහි එම පද සහ යෙදුම් ස්පර්ශ කළ "නැවුම් කන්‍යා ලියක සේමා" ගීයයි ඒ.

වර්ෂ 1997 දී "සිරස" ගුවන් විදුලියේ "අළුත් සිංදු" වැඩසටහන වෙනුවෙන් වික්ටර් රත්නායකයන් අතින් ගීතවත්ව ගැයුණු "නිය පෙළ සිදලයි" ගීය "ගිගිරි ගීත රාවේ " ගී තැටියටද, "අඩවන් දෑසින්" කැසට් පටයටද එක්වීය. ගුවන් විදුලියේ වෙළද සේවයේ "ආරාධනා" ස්වර දෑහැනෙහිදී මෙන්ම "ස" ප්‍රසංගයේදී ද ගැයුණු එම ගීය පියෙකුගේ දාරක ස්නේහය පිළිබදව ලියැවුණු ගීයකි.

ශ්‍රී ලංකාවේ පනස් වැනි නිදහස් ස්වර්ණ ජයන්තිය සැමැරුණු 1998 වර්ෂයේ, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික රුපවාහිනී සංස්ථාව දියත්කළ ආධුනික ගීත රචනා තරගයෙන් තෝරා ගැනුණු ගී දහයෙන් එකකි, "එක ස්වරයක ගැයෙන" ගීතය. එච්. එම්. ජයවර්ධන සංගීතවේදියාගේ සංගීතයෙන් නැංවී කරුණාරත්න දිවුල්ගනේ ශිල්පිය ගැයූ එම ගීය අජිත් ජයවීර නිෂ්පාදනය කළ "නිදහස් ස්වර්ණ ජයන්ති සරසවි පෙරහැර " වැඩ සටහන මඟින් එම ඓතිහාසික දිනයේදී ද වසර තුල නොයෙක් වතාවන්හිදී ද විකාශනය කෙරිණ. සිය ඉහළම වෘත්තීය සුදුසුකම වෙනුවෙන් සහතික පත් ලද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා වේදිකාවේදී ම එම ගීය වෙනුවෙන් අදාල අමාත්‍යවරයා අතින් සහතික හා තිළිණපත් ලැබීම සිසිරගේ කලා දිවියේ දෙවන දෛවෝපගත සිදුවීමයි. රුපවාහිනී සාකච්ඡාවක් සඳහා ඔහුව මුලින් ම කචගත වූයේ ද එම වැඩසටහන වෙනුවෙනි. ඒ කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරශ්‍රයෙදීයි. ඔහුව විමසුවේ හේම නලීන් කරුණාරත්න නිවෙදකවරයා ය.

විශාරද දීපිකා ප්‍රියදර්ශනිය සිය "මල් වරුසා" ගී එකතුව සඳහා ගැයූ "මද්දෙගම් ගිය මද්දුමයා" ගීය සිසිරව වඩාත් රසිකයනට ලං කළ මුල් ම ගීය විය. සිය අනන්‍යතාවය තහවුරු කළ එම ගීය මෙන් ම එකී ගී එකතුවෙහි එන "හාද වෙන්ට ආව තමයි ඉලන්දරිනම්" ගීය මාධ්‍යවල විමසුමට නිතර යොමු වූයේ ඒවායේ වූ නැවුම් බව මත නැඟී රසික ප්‍රතිචාරය නිසාවෙනි. එම ගී යුගලමයේම තනුව හා සංගීතය නිර්මාණය කරන ලද්දේ රෝහණ වීරසිංහ සංගීතවේදියාණන් විසිනි.

ජනගී නාද රටා ඇසුරින් තනු නිර්මාණය කරමින්, ඒවා ප්‍රසංගිකව ඉදිරිපත් කිරීමේ මාහැඟි සද්කාර්යයකට මුල පුරමින් සිටි ලයනල් රන්වල සංගීතාචාර්යවරයාණන් මුණ ගැසීම සිසිරගේ ගීත රචනා කලාව නව්‍යමය මඟකට යොමුකරවීමට සමත් විණ. එකී තනු නිර්මාණ වෙනුවෙන් සිංහල බස්වහරෙහි එන පද යෙදීමේ අභියෝගයට මුහුණ දෙමින් සිසිර කල පද රචනා කිහිපයකි "ගම අවුලඤඤ්ං", "මුණ ගැහුණ ම හායි-හායි", "කහමලියා", "පාර මාරු වෙන්නේ ඇයි ද", "කජු වාරේ", "අනේ අම්මපා", "කැලේ පනින්නේ" වැනි ගීත. රන්වලයන්ගේ සංගීතයට විශාරද වසන්තා මධුරංගනී ගැයූ "සඳසාවී මා" ගීය ඇයව රසිකයනට හඳුන්වා දීමට සමත් වූ ගීයයි. "බන්දුල විජේවීර ශිල්පියා සමඟ "ඇහුවම කන් පිරෙනා" ගීය ගයමින් ලයනල් රන්වලයන් ඇරඹු සිසිරගේ පද රචනවලියේ අවසන් ගීය වුයේ ද රන්වලයන් අවසන්වරට හඬගැන්වූ ගීය මා වීමයි ඔහුගේ නිර්මාණ ගීවිතයේ තෙවැනි දෛවෝපගත සිදුවීම. තම පණ හා සරි මී හරකාගේ වියෝවෙන් විලාප නගනා ගොවි මහත්මයකුගේ අඳෝනාවක් ලෙසින් ලියවුණ "මයෙ බුදු අප්පච්චියා" ගීයේ තනුව මෙන් මා අදහස ද රන්වලයන්ගේ ම විය. ලයනල් රන්වල අවමංගලෝත්සවය පැවැත්වුණ කොළඹ කලාභවනේදී හා කනත්ත පොදු සුසාන භූමියේදී චිතකය දැවෙනතුරු ම දිගින් දිගට වාදනය වූයේ එම ගීයයි. "ගම අවුලඤඤ්ං" ජන ගී ප්‍රසංගය සමඟින් එම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන සහන රන්වල ප්‍රමුඛ කණ්ඩායම වෙනුවෙන් සිසිර අද ද ගී පබඳින්නේය.

ඉහත කී සංගීතවේදීන්ට අමතරව අචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න, විශාරද ගුණදාස කපුගේ, නවරත්න ගමගේ, කරුණාරත්න විජේවර්ධන, මහින්ද බණ්ඩාර, කසුන් කල්හාර, ස්ටැන්ලි පීරිස්, අජිත් ජයවීර, විශාරද දීපිකා ප්‍රියදර්ශනී, විශාරද වසන්තා මධුරංගනී, සහන් රන්වල, රෝහණ ධර්මකීර්ති, සේනානායක වේරලියැද්ද, ආනන්ද පෙරේරා (සිහ ශක්ති), ජීවන් හඳුන්නෙත්ති, කැමරන් කොළඹගේ (ඔස්ට්‍රේලියාව), අතුල ලෙව්කේබණ්ඩාර, ලක්මාල් කස්තුරිරත්න, දර්ශන වික්‍රමතුංග, විශාරද ආනන්ද රාජපක්ෂ, ලලිත් අරුණ ශාන්ත (ඔස්ට්‍රේලියාව), අනුර ලියනාරච්චි, ක්‍රිස්තොපර් බණ්ඩාර (කැනඩාව), වැනි ප්‍රවීණ හා නවක ශිල්පීන්ගෙන් සංගීතවත්ව ගැයුණ සිසිරගේ පද රචනාවන් මේ වන විට ගණනින් දෙසීයක් පමණ වෙයි.

මුලින් සඳහන් කළ ශිල්පී ශිල්පිනියන්ට අමතරව විශාරද නන්දා මාලනී, නිරෝෂා විරාජිනී, සුනිල් එදිරිසිංහ, ජනක වික්‍රමසිංහ, සසිකා නිසංසලා, රොහාන් ශාන්ත බුලේගොඩ, කීර්ති පැස්කුවෙල්, ලතා වල්පොල (යුග ගායනා), ඇන්ජලීන් ගුණතිලක (යුග ගායනා), ධම්මිකා වල්පොල (යුග ගායනා), උරේෂා රවිහාරි (යුග ගායනා), ලක්ෂ්මන් හේවාවිතාරණ වැනි ජනප්‍රිය ශිල්පී ශිල්පිනියන් මෙන්ම නවක ශිල්පී ශිල්පිනියන් රැසක් ද සිසිරගේ පද රචනා සඳහා හඬ මුසු කොට ඇත්තේය. විදේශගතව සිටින ශිල්පීන් අතරින් ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඉතාලිය, මැද පෙරදිග සහ කැනඩාව යන රටවල ශිල්පීයන්ගේ හඬ එම පද රචනාවන්ට මේ වන විට දායක වී ඇත.

සේනානායක වේරලියැද්ද සංගීතවත් කොට ජානක වික්‍රමසිංහ ගැයූ "නුඹේ සිරික්කියට", රෝහණ වීරසිංහගේ සංගීතයෙන් දීපිකා ප්‍රියදර්ශනී ගැයූ "හාද වෙන්ට ආවා තමයි", " මද්දෙගම් ගිය මද්දුමයා", ලයනල් රන්වලගේ නාද රටාවනට වසන්තා මධුරංගනී ගැයූ "සඳසාවී මා" සහ ලයනල් රන්වල ගැයූ "ගම අවුලඤඤ්ං", "මුණ ගැහුණ ම හායි-හායි, "පාර මාරු වෙන්නේ" වැනි ගී ශ්‍රී ලංකාවේ ඉහළ ම රසික ප්‍රතිචාර ලබමින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය තුලින් ප්‍රචාරය වන අතර, මුද්‍රිත මාධ්‍යන්ගේ විමැසුමට ද ලක්වේ. වික්ටර් රත්නායක සංගීතවත් කොට සුනිල් එදිරිසිංහයන් සමග ගැයූ "බිතක්කනේ හැංගෙනවා" ගීය ඔවුන් දෙපළ ගැයූ මුල් ම හා මේ වනතෙක් ගැයූ එක ම යුග ගීයයි.

කුඩා කළ පටන් ම තුල වූ රසිකත්වය ම තමාගේ රචකත්වයට හේතු වූ බවයි සිසිරගේ අදහස. අප්‍රසිද්ධියේ ගැයුණ ඔහුගේ හඬ රත්නශ්‍රි විජේසිංහයන් අතින් ලියැවී වික්ටර් රත්නායකයන් හඬින් ගැයුණු "පාත ඉඳන් අපි ආවේ" ගීයේ අත්වැල් ගයනාව මුහුවූයේ ඔහුගේ එම හැකියාව ද පසක් කරමින් ය.

කොළඹ ගොඩගේ පොත් ප්‍රකාශකයින් විසින් දියත් කළ ව්‍යාපෘතියක් සඳහා ගී පද රචනා අත්පිටපත් දහස් ගණනක් අතරින් තොරාගැනුන අත් පිටපත් දහයට "සිසිරගේ කුරුටු ගී" ගී එකතුව ද තේරිණ. මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ මුලසුනින්, මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, බුද්ධදාස ගලප්පත්ති වැනි විද්වත් මඩුල්ලකගේ අගැයීම් මධ්‍යයේ කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී වර්ෂ 2005 දෙසැම්බර් මස 23 දා පැවැත්වුණ කලඑළි දැක්මේ උත්සවයේදී එම ගත් කතුවරුන් අතරට සිසිරට එක්වීමට නොහැකි වූයේ ඒ වන විට ඔහු විදේශගතව සිටි නිසාවෙනි. එසේ වුව ද සිය නැඟනිය අතින් සිය මවටත්, ලයනල් රන්වල මැතිනියටත් පොත පිළිගැන්වීමට සැලැස්වූ ඔහුට මෙල්බර්න් නුවර පැවැත්වුණ "රෝහණ රන්සර" ප්‍රසංග වේදිකාවේදී සිය පදරචනාවන් මුලින් ම ගී ගැන්වූ වික්ටර් රත්නයකයන්ටත්, තමා රසිකයින් අතරට ගෙනයන්ට මුල් වූ දීපිකා ප්‍රියදර්ශනියට හා රෝහණ වීරසිංහයන්ටත්, සිය ගී රචනා ක්ෂේත්‍රයේ මුල් ම සහෘදයා වූ සුනිල් එදිරිසිංහයන්ටත් සියතින් ම එය පිළිගැන්වීමට වරම් ලැබිණ. පොතේ කංචුකය චිත්‍රණය කළේද සිසිර ම ය.

වසර 2008 දී සිය ප්‍රකට ගී එකුන් විස්සක් "නුඹේ සිරික්කියට" නම් වූ සංගත තැටියට එක්කල සිසිර, කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී ත්, මෙල්බර්න් නුවරදීත් එළිදැක්වීය. තමා රචනා කල ළමා ගී විස්සකින් යුත් "අතුරු මිතුරු" ඔහුගේ දෙවන ගී එකතුවයි. මවගේ වියෝව නිසාවෙන් මව් බිමේදී එළි දැක්වීමට නොහැකි වූවද, එය වෙළඳපොළට නිකුත් කළේ 2011 ජනවාරි 15 දා මවට සිය නිවසේදී පිළිගැන්වීමෙන් අනතුරුවයි. 2012 මාර්තු 18 වෙනි දා "අතුරු මිතුරු" ළමා ප්‍රසංගය සමඟින් මෙල්බර්න් නුවරදී එම ගී එකතුව එළි දැක්වීමට කටයුතු යොදා තිබේ.

වෘත්තියෙන් වරලත් සිවිල් ඉංජිනේරුවකු වන සිසිර දිසානායක ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ අවිස්සාවේල්ල කොට්ඨාශයේ හිටපු විධායක ඉංජිනේරුවරයායි. ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මොනෑෂ් සරසවියෙන් ට්‍රැෆික් ඉංජිනේරු විද්‍යාපති (Master of Traffic) තත්වය ද ලබාගත් අතර දැනට වික්රෝඩ්ස් (Vicroads) ආයතනයේ ජේෂ්ඨ ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කරයි. ඕස්ට්‍රේලියාවේ "පහන" මාසිකය වෙනුවෙන් "සමවැදුම" ගීත විමර්ශනාත්මක ලිපි පෙළ සිය සිතුවම් ද සමඟින් අරඹමින් සිසිර පුවත්පත් ලේඛණ කලාවට මුල පිරීය. "සන්නස" පුවත් පත සඳහා "ගී සඳළුව" ගීත විමර්ශනය ද, "පන්හිඳයි පින්සලයි" ලිපිය ද "හිරු කිරණ" බොදු පුවත් පත සඳහා "බොදු ගී" විචාරය ද , "සිහනද" මාසිකයේ "දියකැට පහණ" ඉංජිනේරුමය කටයුතු පිලිබඳ ලිපියද ඊට එක වී ඇත්තේය.

"ජනගීයේ රුව ගුණ ආත්ම කොටගත් ගේය කාව්‍ය රචකයා" මැයෙන් ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ කවියා "සිසිරගේ කුරුටු ගී" පොත වෙනුවෙන් ලියු පෙර වදනේ උදෘතයන් කීපයක් අවසන් වශයෙන් මෙලෙස ගෙන හැර දැක්වීම සිසිරගේ දසවසරක ගී පුරාවතේ හරස්කඩ හුවා දැක්වීමක් වන්නේ ය.

"පුරෝගාමී ගේය කාව්‍ය රචනයේදී ජනකවිය හා ජන ගීය සතු රුවත්, ගුණත් සිය රචනයේ ආත්මය කොටගත් නූතන ගේය පද රචකයින් අතර සිසිර දිසානායක මුල්තන්හි ලා සැලකීම අසාධාරණ නොවෙතැයි සිතේ."

"සීසර දිසානායකගේ ගේය කාව්‍ය රචනයෙහි තවත් විශේෂතාවයක් වන්නේ, ඔහු ජන කවි-ගී ඇසුරු කළ ද, ඒ ඇසුරින් ප්‍රතිනිර්මාණය කරන රචනයේ ආකෘතිය, මූලාශ්‍රයේ ආකෘතියෙන් මිදුණ ස්වායත්ත එකක් වීමයි."

"ජන ගීයේ හා ජන කවියේ සම්පත් කෙරෙහි ආශාක්තව ඒවා රැස්කර ගනිමින් ඉන් නිර්මාණාත්මක "නව ගීතයක්" නිමවීම වෙනුවෙන් වෙසෙන සිසිර දිසානායක, අතීත කාව්‍ය ඉක්මවා, වර්තමානයට පා තබනවිටත් අත්කර ගන්න ජයග්‍රහණ රැසකි. ඔහුගේ ගීයේ ආත්මය ජන සංස්කෘතිය වුව ද, ඔහු එකී පටු පරාසයෙහි ම රඳවා තැබිය යුතු නැත. කාලීන සමාජ අත්දැකීම් නිරූපණය කරනු සඳහා ද ඔහු නිසැකව ම සුදුසු කම් ලබා සිටින්නෙකි."